adsense

Sunday, March 4, 2012

දුරදක්නය ආවේ ළමයින්ගේ සොයා ගැනීමක් නිසාද? ලන්දේසි කටකතාවක් නිසා ඉතාලියේ උපන් දුරදක්නය


මීට අවුරුදු හාරසීයකට විතර ඉස්සර ඕලන්දය (අද නෙදර්ලන්තය) කියන රටේ හිටියා, ඇස් කන්නාඩි හදන්නෙක්, හෑන්ස් ලිපර්ෂී (Hans Lippershey 1587-1619) කියලා. සම්පූර්ණ නම කිව්වොත් ජොහැන්නස් ලිපර්ෂි. ළඟ පෙනීම අඩු අයට පෙනීම වැඩි කර ගන්න ඔහු තැනූ කාචවලින් යුත් ඇස් කන්නාඩි ප‍්‍රයෝජනවත් වුණා. දවසක් ඔහු ළඟ වැඩ පුහුණු වෙමින් සිටි ළමයෙක් කාච තනමින් ඉන්න අතරෙදි අහම්බෙන් තමා තනමින් සිටි එක් කාචයක් ඉදිරියෙන් තවත් කාචයක් තබා ඒ තුළින් බැලූ විට දුර ඇති දේ ළං වී පෙනෙන බව දැක්කා. ඔහු ඒ බව ලිපර්ෂීට කී විට ඔහු ඉන් පිනා ගියා. ඊළඟට ඔහු කළේ ඒ කාච දෙක බට දෙකකට සවිකර, ඒවා යා කර ලොව මුල් ම දුරදක්නය බිහි කිරීමයි. ඔහු ඒ දුරදැකිය හැකි අපූරු උපකරණය (ඒකට ඒකාලෙ දුරදක්නය කීවේ නෑ.)  ඕලන්ද රජයට විකුණන්නට කල්පනා කළා. ඕලන්ද රජය ඊට කැමති වුණා. ඒත් යුද කටයුතුවලට මේ උපකරණයේ ඇති ප‍්‍රයෝජනය තේරුම් ගත්  ඕලන්ද රජය එය ‘යුද රහසක්’ ලෙස සලකා රටින් පිට යන්න දුන්නේ නෑ.


තවත් කතාවක් තියෙනවා, ලිපර්ෂි ඔහුගේ ඇස් කන්නාඩි සාප්පුවේ වැඩ කරමින් සිටිය දී ඒ අසල සෙල්ලම් කරමින් උන් කුඩා ළමයින් දෙදෙනෙකුගේ කතාවකට අහම්බෙන් කන්දෙන්න ඔහු සිදුවෙලා තියෙනවා. ළමයින් දෙන්නා සෙල්ලම් කරමින් සිටියේ ඔහු තැනූ කාච දෙකකින්. එක ළමයෙක් කාචයකින් බලා හිඳිද්දී අනෙක් ළමයා ඒ ඉදිරියෙන් අනෙක් කාචය එහා මෙහා කරමින් සිටියා. ‘හරී, ළංවෙනවා’ කාචයෙන් බලා සිටි ළමයා කීවා. ඔවුන් ඒ කාච තුළින් බැලූවේ ඈත පල්ලියේ ඉහළින් සවි කර තිබූ ඝණ්ටාර කුලූන දිහායි. ලිපර්ෂි ඒ දුර බලන උපකරණය තැනුවේ ඊට පස්සෙයි, කියලයි ඒ කතාවෙන් කියන්නෙ. මේ කතාවල ඇත්ත නැත්ත මොකක් වුනත් කටකතාවක් හැටියටයි, මෙය ලොව පුරා ගියේ. 


ඒ නිසා කටකතාවක් හැටියටයි, ඕලන්දයේ කිසිවකු විසින් දුර දැකිය හැකි උපකරණයක් තනා ඇති ආරංචිය ඉතාලියටත් ගියේ. ඉතාලියේ සිටි ගැලීලියෝට මේ ගැන අසන්නට ලැබුණා. ඒත් දැක ගන්න අවස්ථාවක් තිබුණේ නෑ. මේ ආරංචිය ලද ගැලීලියෝ කළේ තමා විසින් ම තනාගත් කාච දෙකක් යොදා දුරදක්නයක් තැනීමයි. එහෙම තැනුවා විතරක් නෙවෙයි, ඒක ඔහු මුල් වරට අහස දෙසට යොමු කළා. ඔහු එතෙක් මිනිසකු පියවි ඇසින් නොදුටු දේ දකින්න පටන් ගත්තා. තරකා විද්‍යාවේ විප්ලවය පටන් ගත්තේ එතැනින්. දුර දකින්නට අපට මග පෑදුවේ ගැලීලියෝ තමයි. ඒ මීට අවුරුදු හාරසීයකට ඉස්සරින්, 1609 දී මුලින්ම දුරදක්නයකින් අහස දිහා බලපු තැනැත්තා හැටියටයි.

බටහිර ජර්මනියේ වෙසල්හී 1570 දී උපන් ලිපර්ෂී 1594 දී නෙදර්ලන්තයේ සීලන්ඞ් ප‍්‍රාන්තයේ මිඞ්ල්බර්ග්හී පදිංචියට ගියා. ඔහු ඒ වසරේ ම විවාහ වී සීලන්ඞ් පුරවැසි භාවය ලබා ගත්තා. ඒ කාලේ එරට සිටි හොඳම ඇස් කන්නාඩි තනන්නා වුයේ ඔහුයි. ඇස් කන්නාඩි සාප්පුවක් දමාගෙන ඒ නගරයේ ම විසූ ඔහු 1619 සැප්තැම්බරයේ දී මිය ගියා. ඔහු ඈත ඇති දේ ළං කර පෙන්වන ලන්දේසි යථාදර්ශක කන්නාඩිය Dutch perspective glass සඳහා හිමිකම් පතක් 1609 දී ඔක්තෝබර් 2 වැනිදා නෙදර්ලන්ත රජයට ඉදිරිපත් කළත් ඊට සති කීපයකට පෙර තවත් කන්නාඩි නිෂ්පාදකයකු ඒ අදහස ලියාපදිංචි කර තිබුණෙන් ඔහුට එහි හිමිකම ලැබුණේ නෑ. එහෙත් නෙදර්ලන්ත රජයෙන් ඔහුට තෑගිබෝග සම්මාන ආදියෙන් හොඳින් සංග‍්‍රහ කෙරුණා.
ඒත් දුරදක්නයේ නියම ගෞරවය හිමි කරගන්නේ ගැලීලියෝයි. ඒ නම පවා යොදනු ලැබුවේ ඔහු තැනූ උපකරණයටයි. ඒක සිදුවුණේ මෙහෙමයි.


1611 දී ඉතාලි විද්‍යා ඇකඩමිය ගැලීලියෝට Galileo Galilei ගෞරව දැක්වීම පිණිස පැවැත්වූ උත්සවයක දී මේ නම තබන ලද්දේ තවත් ඉතාලි ජාතික විද්‍යාඥයකු වූ ජීයෝවන්නි ඩෙමිසියානි Giovanni Demisiani විසිනුයි. ගී‍්‍රක බසෙහි එන ‘ටෙලෙ’ Tele (දුර) ‘ස්කොපියන්’ skopein (දක්නය) යන වදන් එක් කිරීමෙන් තනාගත් ඒ වචනය ඒ මොහොතේ ගැලීලියෝ විසින් ඇකඩමියට පරිත්‍යාග කළ උපකරණය හැඳින්වීමට ඩෙමිසියානි විසින් භාවිත කෙරුණා.


Read more: http://www.malkakulu.com/2012/01/blog-post_7289.html#ixzz1o9fg48I2

අහසේ නම ලියා ලෝ පතල වුණු කවුරුද ? මේ කවුරු ඉකෙයා

මාසයකට ඩොලර් 35ක පඩියකට ඔහු පියානෝ තනන සමාගමක රැකියාවට ගියේය. එහි වූ ඔහුගේ පෞද්ගලික වාර්තා පතෙහි සඳහන් වූයේ ඔහු ‘දැඩි අරමුණු නැති, ඉහළට යාමේ ආශාවන් ගෙන් ප‍්‍රහීණ’ අයකු ලෙසය. ඒත් කවුරු ඉකෙයාට දවසේ රැකියාව නිම වීමෙන් පසු ඉහළට යාමේ ආශාවන්ගෙන් පිරුණු දැඩි අරමුණක් තිබුණේය. මේ අරමුණ ඔහු කෙතරම් හොඳින් සඵල කර ගත්තේ ද යත් එතෙක් සිය පවුල ලබා තිබූ අවමානයෙන් ගලවා ගෙන සස ජාතකයෙහි එන පරිදි සක් දෙවිඳු සා රුව සඳෙහි ඇන්දාක් සේ සිය පවුලේ නාමය අහසේ ලියන්නට සමත් විය. මේ දිරිය වඩන කතාව දිරිය බිඳින සාධක මැද්දෙන් සාර්ථක ගමනක් ගිය ජපන් හපන් පුතකු ගැනයි.



ඔවුන් ජීවත් වූයේ ජපානයේ හොකාඩෝ දූපතේ මෝරිහි පිහිටි හමානා විල අසල නිවසකයි. ඔහු හැමදාම මහ රෑ අහස නරඹන්නට වහලයට නගින්නට සැරසෙනු අම්මා බලා සිටියාය. සමින් කළ සුළං වළකන ඉස්කිරිම ඉවතට ගන්නා අයුරු, බර වැඩට සුදුසු ගොරෝසු කලිසම හඳින අයුරු, ශීත කාලයේ ජපානයේ ඇති දැඩි ශීතලට ඔරොත්තු දෙන පරිදි වූල් හිස් ආවරණය හා අත්මේස් පලඳින අයුරු, ඇය අවදිව, එහෙත් නිසල ව, බලා උන්නාය. ඊළඟට ඔහු සිය බ්ලැන්කෙට්ටුවත් ඔතා ගෙන වහලය මතට නඟින්නට නිවසෙන් පිටවෙනු බලා ඇය දිග සුසුමක් හෙළා ළය සැහැල්ලූ කර ගත්තාය. ඔහු එසේ ගෙන් පිටවුණේ ඉනි මඟ දිගේ නිවසේ වහලය මතට නඟින්නටය. ඔහු ඝන අඳුර හා දැඩි ශීතල මැදින් වහලය මතට නැංගේ අහස දෙස බලන්නටය. එහි ඔහු කාලයක් තිස්සේ වෙහෙස වී සිය දෑතින් ම තනා ගත් දුරදක්නය සවි කර තිබුණේය.


කවුරු ඉකෙයා, ෂොයිචි ඉකෙයා මහත්මියගේ ලොකු පුතාය. පවුලේ බරට කරට ගත් තැනැත්තා ය. ඔහුට තිබුණේ කෙසඟ සිරුරකි. දවල් කාලයේ වෙහෙස වී රැුකියාව කර ආපසු නිදි මරාගෙන තවත් වෙහෙස වීම නිසා ඔහු තවත් කෙට්ටු වන්නේ යැයි ඇය ඔහු සමග මේ වහලයට නඟින ගමන ගැන නිතර ම රණ්ඩු කළාය. එහෙත් ඒ සියල්ල ඉකෙයා සිනහ මුසු මුවින් ඉවසුවේය. කිසිදාක වහලයට නඟින ගමන අත්හළේ නැත. 

එදා 1963 ජනවාරි 2 වැනි දා රාති‍්‍රයේ, එවකට 19 හැවිරිදි වියේ පසු වූ කවුරු ඉකෙයා, බොහෝ වේලාවක් අහස දෙස බලමින් ගත කළේය. අපමණ වෙහෙස විඳ තම දෑතින් ම තනා ගත් මේ දුරේක්ෂයෙන් අහස දෙස බලන හැමවිට ම ඔහුගේ හද ගැස්ම වැඩි විය. සිත බලාපොරොත්තු වලින් පිරී ගියේය. මේ දුරදක්නය තනන්නට පටන් ගත් මොහොතේ පටන් ම ඔහුට ඉලක්කයක් තිබුණේය. ඒ මෙතෙක් කිසිවකු නුදුටු අලූත් වල්ගා තරුවක් සොයා ගන්නටය. එදා ඔහු අහස දෙස බලමින් ගත කළේ ඔහුගේ 109 වැනි රාති‍්‍රයයි. 

නැගෙනහිර අහස පැයක් පමණ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහු සිය දුරේක්ෂය ගිනිකොණ දෙසට හැරවීය. එහි දී ඔහුට එතෙක් කිසිදාක නොදුටු වලාකුළක් බඳු වස්තුවක් දුරේක්ෂයෙන් දැක ගත හැකි විය. ඔහු තමා වෙත තිබූ අහස් සිතියම් පරීක්ෂා කර බැලූවේය. අහසේ ඒ හරියේ කිසිවක් ඒ සිතියම්වල සටහන් ව නොතිබුණේය. නැවත වරක් තමාගේ එල්ලය නිවැරදි දැයි හොඳින් පරීක්ෂා කර බැලූවේය. ඉන්පසු ඔහු සිය දුරේක්ෂය තුළින් නෙත් එක මොහොතකටවත් ඉවත් නොකර බලා සිටියේය. තමා මේ දකින්නේ මායාවක් යැයි ඔහු මොහොතකට සැක කළේය. ඒත් මඳ ආලෝකයෙන් දිළිසුණු, වලාවක් බඳු ඒ කුඩා වස්තුව අහසේ නොවෙනස් ව තවමත් රැඳී තිබුණේය. බොහෝ වේලා බලා සිටින විට ඒ වස්තුව දීප්තිමත් තරු අතරින් හෙමින් චලනය වෙන බව ඔහුට දැක ගත හැකි විය. තමා මේ දකින්නේ දීප්තියෙන් අඩු තරුවක් නොව වල්ගා තරුවක හිසක් බව කවුරුට අවබෝධ වීමට වැඩි වේලාවක් ගියේ නැත.


තවත් ටික වේලාවකින් ඒ වල්ගා තරුවක් හෙවත් ධූම කේතුවක් බව හඳුනා ගන්නට ඔහුට පුළුවන් විය. ඒ ධූම කේතුව මිට කලින් කිසිවකු විසින් හඳුනා නොගත් එකක් විය. එතැන් පටන් රාති‍්‍ර අහසට එක් රැයක්වත් ඔහු විමසුම් ඇස මඟ හැර යන්නට ඔහු ඉඩ හැරියේ නැත. ඔහු හැමදාම රැය පහන් කළේ අහස දෙස බලාගත් වන මය. 

ඔහුගේ මහන්සියේ ප‍්‍රතිඵල ආවේ වසර දෙකකට පසුවය. ඔහු තවත් වඩා දීප්තිමත් වල්ගා තරුවක් සොයා ගත්තේය. එය ඉකෙයා සොයා ගත් බව දන්වන මොහොතේම සෙකී නම් තවත් අයෙක් එය දුටු බව වාර්තා කළේය. ඒ නිසා එය ඉකෙයා-සෙකි (C/1965 S1) යනුවෙන් නම් කරනු ලැබීය.


2002 පෙබරවාරි 1 වැනිදා ඉකෙයා තවත් වල්ගා තරුවක් සොයා ගත්තේය. එයත් වාර්තා කරන විට ම සැන්ග් නම් චීන ජාතිකයෙක් ද එය දුටු බව වාර්තා කළේය. ඒ නිසා එය ඉකෙයා-සැන්ග් (153P) යනුවෙන් නම් කෙරිණ. එය වරින් වර පෘථිවිය දෙසට එන වල්ගා තරුවකි. එසේම ඔහු විශාල ග‍්‍රහකයක් ද සොයා ගත්තේය. එය නම් කොට ඇත්තේ ‘4037 ඉකෙයා ග‍්‍රහකය’ කියායි.

2010 නොවැම්බර 13 වැනිදා ඔහු තවත් වල්ගා තරුවක් සොයා ගත්තේය. මේ වල්ගා තරුව සොයා ගන්නා විට ඔහුට ඩිජිටල් පිළිබිඹු තාක්ෂණය යොදා ගැනීමට හැකියාව ලැබුණේය. එය ද තවත් මුරාකාමි නම් තවත් ජපන් ජාතිකයෙක් දුටු බව වාර්තා කෙරිණ. එයද ඉකෙයා-මුරාකාමි (P/2010 V1) කියා නම් කෙරිණ.


අද කවුරු ඉකෙයාට වයස අවුරුදු 59කි. වල්ගා තරු ගණනාවක් සොයා තාරකා විද්‍යාඥයෙකි. එදා අවුරුදු 40කට පෙර තමාගේ අතින්ම තනා ගත් කුඩා දුරදක්නයකින් අහස බැලූ ඔහු අද ඒ සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් නවීන දුරේක්ෂ උපකරණවලින් අහස නිරීක්ෂණය කරයි. නන්නාඳුනන දිළිඳු දරුවකු ලෙස තම නිවසේ වහලය මතට හොර රහසේ නැඟ අහසේ තරු දෙස බලා සිටි ඔහු අද ලෝක ප‍්‍රකට තාරකා විද්‍යාඥයෙකි. අහසේ තම නම ලියවූ සුප‍්‍රකට අයෙකි.

ඔබගේ දැනගැනීම පිණිසයි :- මෙම ලිපය උපුටා ගන්නා ලද්දේ මල් කැකුළු පිටුවෙනි ලින්කුව පහත සදහන් වේ.
special thanks for මල් කැකුළු
Read more: http://www.malkakulu.com/2012/03/kaoru-ikeya.html#ixzz1o9aVxaVM